Home Flash News “අපි නිදහස සමරන්නේ රූකඩ ආණ්ඩුවක් යටතේ” – දිලිත් ජයවීර

“අපි නිදහස සමරන්නේ රූකඩ ආණ්ඩුවක් යටතේ” – දිලිත් ජයවීර

13
0
Share

ශ්‍රී ලංකාව 76 වැනි නිදහස් දිනය සමරන මොහොතක, රට පවතින්නේ බාහිර බලවේගයන්ගේ න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන “රූකඩ ආණ්ඩුවක්” යටතේ බවත්, ජනතාවට සිදුව ඇත්තේ එවන් පසුබිමක නිදහස සැමරීමට බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (04) දින සර්වජන බල පක්ෂ මූලස්ථානයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

ඓතිහාසික කුමන්ත්‍රණ සහ වර්තමානය

සිය දේශනය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, 1815 දී රටේ රාජ්‍යත්වය අහිමි වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ වීරත්වයේ අඩුවකින් නොව, දේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවයි. කැප්පෙටිපොළ විරුවාණන් වැනි නායකයින් යටතේ 1818 දී දියත් වූ මහා කැරැල්ල වැනි සිදුවීම් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ වීරත්වය ඉතිහාසය පුරාම ඔප්පු වී ඇති බව ඔහු සිහිපත් කළා.

“1948 දී අපට නැවත රාජ්‍ය බලය ලැබුණත්, එදා සිට අද දක්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය විවිධ ස්වරූපයෙන් මේ කුඩා දිවයින තුළ ක්‍රියාත්මක වුණා. නමුත් ඒ හැම අවස්ථාවකදීම අපේ රටේ මිනිස්සුන්ට ඒ කුමන්ත්‍රණ පරදවා මව්බිම බේරාගන්න හැකියාව ලැබුණා,” යැයි ඔහු පැවසුවා.

නූතන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳ චෝදනාව

දිලිත් ජයවීර මහතා මෙහිදී මෑත කාලීන දේශපාලන සිදුවීම් රැසක් “කුමන්ත්‍රණ” ලෙස හඳුන්වමින් දැඩි විවේචනයක් එල්ල කළා.

ඔහුට අනුව, උතුරේ ත්‍රස්තවාදය, 2010 දී යුද ජයග්‍රහණයෙන් පසු හමුදාපතිවරයා දේශපාලනයට ගෙන ඒම, 2014 දී “යහපාලනය” නමින් ආණ්ඩුවක් පිහිටුවීම සහ 2022 දී ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ජනාධිපතිවරයෙකු බලයෙන් පහ කිරීම යන සියල්ලම රට අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ මාලාවක කොටස් බවයි ඔහු චෝදනා කළේ.

“ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් සිදුවුණා. ඒ කුමන්ත්‍රණකරුවන් තමන්ගේ මූලස්ථානයට ගිහිල්ලා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන ආකාරය දැන් අපිට පේනවා එහි ප්‍රතිඵලයක් හැටියට අද රූකඩ ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා,” යැයි ඔහු සඳහන් කළා.

IMF න්‍යාය පත්‍රය සහ ආර්ථික නිදහස

වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විදේශීය න්‍යාය පත්‍රයක් මත, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවශ්‍යතා මත ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා චෝදනා කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාවේදී වැඩිම බදු ආදායමක් ලබා ගැනීම ජයග්‍රහණයක් ලෙස හැඳින්වීම ඔහු දැඩි ලෙස විවේචනයට ලක් කළා.

“අතීතයේ සුද්දා බදු ගැහුවේ බ්‍රිතාන්‍ය කිරීටයට සල්ලි යවන්න. අද මේ බදු ගහන්නේ IMF එකේ ණයකරුවන්ගේ පොලී ගෙවන්නයි. අපේ රටේ ආර්ථික නිදහස සම්පූර්ණයෙන්ම අපේ ග්‍රහණයෙන් මිදිලා. සංස්කෘතික නිදහස රැකෙන්න නම් ආර්ථික නිදහස තියෙන්න ඕනෑ,” යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here