Home Flash News රු. 15,000 ශිෂ්‍ය ආධාරය, කොළොන්නාවේ එකදු සිසුවෙකුටවත් ලැබී නැහැ

රු. 15,000 ශිෂ්‍ය ආධාරය, කොළොන්නාවේ එකදු සිසුවෙකුටවත් ලැබී නැහැ

13
0
Share

ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට බලපෑ “දිට්වා” සුළි කුණාටුව නිසා පීඩාවට පත් වූ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබූ රුපියල් 15,000ක දීමනාව, කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 12,000කට ආසන්න පිරිසකට තවමත් ලැබී නැති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නවතම දත්ත වාර්තා අනාවරණය කරනවා.

මෙම දීමනාව ලබා දීම ආරම්භ කර තිබුණ ද, එහි ප්‍රගතිය ඉතා මන්දගාමී බවත්, විශේෂයෙන්ම කොළොන්නාව ප්‍රදේශයේ එකදු සිසුවෙකුටවත් මෙතෙක් එම මුදල ලැබී නොතිබීම බරපතල තත්ත්වයක් බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

ගෙවීම් වල වත්මන් තත්ත්වය

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ජූනි 02 වැනිදා නිකුත් කරන ලද ප්‍රගති වාර්තාවට අනුව, මෙම රුපියල් 15,000 දීමනාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් අයැදුම්පත් 17,399ක් ලැබී තිබෙනවා. ඉන් අයැදුම්පත් 5,166ක් සඳහා මේ වන විට මුදල් ගෙවා ඇති අතර, තවත් අයැදුම්පත් 11,964ක් සඳහා ඉදිරියේදී ගෙවීමට නියමිතයි.

පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට පොත්පත් සහ නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා මෙම මූල්‍ය ආධාරය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

වැඩිම බලපෑමක් වූ කොළොන්නාවට කුමක් වීද?

ලැබී ඇති සම්පූර්ණ අයැදුම්පත් සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක්, එනම් අයැදුම්පත් 8,650ක් ලැබී ඇත්තේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. නමුත්, කණගාටුවට කරුණ නම්, එම කොට්ඨාසයේ එකදු අයැදුම්පතක් සඳහා හෝ මෙතෙක් ගෙවීම් සිදුකර නොමැති බව අදාළ වාර්තාවේ පැහැදිලිව සඳහන් වීමයි. ආපදාවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක දරුවන්ට මෙසේ ආධාර ලබා දීම ප්‍රමාද වීම දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ පිළිතුර

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා කියා සිටියේ අදාළ දීමනා ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පවතින බවත්, ඒවා කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවත්ය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළා,

“අපි රුපියල් 25,000 සහ 50,000 දීමනා ගෙවීම් මේ වන විට බොහෝ දුරට අවසන් කර තිබෙනවා. රුපියල් 15,000 දීමනාව ගෙවීමත් ආරම්භ කර තිබුණත්, කොළොන්නාව වැනි ප්‍රදේශවල තවමත් ගෙවීමට තිබෙන බව ඇත්ත. හේතුව තමයි, අපි හැම අයැදුම්පතක්ම නිවැරදිව පරීක්ෂා කරලා තමයි ගෙවීම් කරන්නේ. උදාහරණයක් විදියට, කොළොන්නාව ප්‍රදේශයේ විතරක් නිවාස හානි සම්බන්ධයෙන් ගෙවල් 30,000ක් පරීක්ෂා කරන්න තියෙනවා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. කොහොම නමුත්, ලබන සතිය වන විට නිවාස ආධාර සහ මෙම රුපියල් 15,000 දීමනාව යන දෙකම ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත්, ආපදාවෙන් මාස ගණනාවක් ගත වී තිබියදීත්, දහස් ගණනක් දරුවන් තමන්ට හිමි මූලික ආධාරයවත් නොලැබී බලා සිටීම, බලධාරීන්ගේ අවධානය වහාම යොමු විය යුතු කරුණකි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here