“AI” නොහොත් කෘත්‍රිම බුද්ධිය කියන වචනය දැන් අපේ ජීවිතයේ හැමතැනම ඇහෙන දෙයක්. සමහරුන්ට මේක අනාගතය ගැන බලාපොරොත්තුවක්, තවත් සමහරුන්ට රැකියාව නැතිවෙයි කියන බියක්. නමුත්, දිනපතා ඔබට පුවත් ගෙන එන මාධ්‍ය කලාවට AI තාක්ෂණය බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයමින්, තරුණ මාධ්‍යවේදීන් වෙනුවෙන්ම සංවිධානය වූ විශේෂ ජාත්‍යන්තර වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
seylan news අපි මේ සුවිශේෂී වැඩමුළුවේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා.
දැනුම සොයා කොළඹට ආ මාධ්‍යවේදීන්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී, පුවත්පත්, සහ වෙබ් අඩවි නියෝජනය කරමින් තරුණ මාධ්‍යවේදීන් 35 දෙනෙකු ඇතුළුව, ඉන්දියාව වැනි රටවලින් පැමිණි විදෙස් මාධ්‍යවේදීන් ද ඇතුළුව 50 දෙනෙකු පමණ සහභාගී වුණා. දැනටමත් සිය වෘත්තීය කටයුතු සඳහා AI තාක්ෂණය භාවිත කරන මාධ්‍යවේදීන්ට මෙහිදී ප්‍රමුඛත්වයක් හිමිවීම විශේෂත්වයක්.
මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානය, මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානය සහ ඕස්ට්‍රේලියාවේ ‘Kangaroo Post’ පුවත්පත වැනි ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණා.
AI ගැන කතා කරන්න පිලිපීනයෙන් ආ විශේෂඥයා
වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ පිලිපීනයේ සම්මානනීය මාධ්‍යවේදියෙකු සහ සාහිත්‍යධරයෙකු වන අමාඩෝ ඇන්ජලෝ සර්ඡ් රොඩ්රිගුස් ලකුඊස්ටා (Amado Angelo “Sarge” Lacuesta) මහතායි. ඔහු පිලිපීනයේ Esquire සඟරාවේ සංස්කාරකවරයා ලෙසත්, පෙන් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක සභිකයෙකු ලෙසත් කටයුතු කරන, ජාත්‍යන්තරව පිළිගත් චරිතයක්.
ඔහුගේ දේශනයේදී, AI තාක්ෂණය හුදෙක් මෙවලමක් ලෙස නොව, ජනමාධ්‍ය කලාවට සහ සංස්කෘතියට ගැළපෙන ලෙස අනුගත කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මුලික සිද්ධාන්ත සාකච්ඡා කෙරුණා.
AI – අවස්ථාවක් ද, අවදානමක් ද?
මෙම වැඩමුළුවේදී AI තාක්ෂණයේ පැති කිහිපයක් ගැනම අවධානය යොමු කෙරුණා.
* අවදානම් සහ වගකීම AI – භාවිතයේදී ඇතිවිය හැකි සදාචාරාත්මක ගැටලු, වගකීම් විරහිත භාවිතයන් සහ ඒවායින් මිදෙන ආකාරය.
* සංස්කෘතික බලපෑම – තාක්ෂණික දෝෂ මඟහරවා ගනිමින්, ජන සංස්කෘතියට ගැළපෙන ලෙස AI ප්‍රතිඵල ලබාගන්නා ක්‍රමවේද.
* මනෝවිද්‍යාත්මක සහ දේශපාලන බලපෑම – AI තාක්ෂණය මිනිසුන්ගේ ජීවන රටාව, මනෝ විද්‍යාව සහ දේශපාලන මතයන් හැඩගැස්වීමට බලපාන ආකාරය.
ලංකාවේ මාධ්‍ය කලාවට AI – අනාගතය කුමක්ද?
වැඩමුළුවට එක්වූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස් මහතා මෙහිදී වැදගත් අදහසක් මතු කළා. ඔහු පැවසුවේ, “AI තාක්ෂණය වත්මනේදී ජන සංස්කෘතිය හැඩගැස්වන ප්‍රමුඛතම මෙවලම වන බැවින්, එහි ව්‍යුහාත්මක පරිචයන් ඉතා පරිස්සමෙන් කළ යුතුයි. මෙරට මාධ්‍ය කලාවට AI තාක්ෂණය යොදා ගැනීම තවමත් පවතින්නේ ප්‍රාථමික අවදියක,” බවයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ AI තාක්ෂණයේ ප්‍රතිඵල මෙරට තරුණ මාධ්‍යවේදීන් සඳහා ශාස්ත්‍රීය මට්ටමින් ලබා දීම බවයි.
මෙය අදියර කිහිපයකින් පැවැත්වීමට නියමිත වැඩමුළු මාලාවක පළමු පියවර පමණයි. AI තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එය වගකීමෙන් සහ නිර්මාණශීලීව භාවිත කිරීම මාධ්‍යවේදීන්ගේ අතේ ඇති අභියෝගයක් මෙන්ම අවස්ථාවක් ද වන බව මෙම වැඩසටහන පෙන්වා දෙනවා.




























