පොලිස්පතිවරයාගේ නියෝගයෙන් තලංගම, රාගම සහ බෙලිඅත්ත ඇතුළු පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන්ට හදිසි මාරුවීම් ලැබෙයි.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයත් එකලස් කළ පුවතක් ඊයේ (30) වාර්තා වුණා. ඒ, නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන හර්ෂි රසාංගා මූල්‍ය වංචාවක් හා සොරකමක් සම්බන්ධයෙන් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි.
2023 වසරේ සුමති සම්මාන උළෙලේදී “නැගී එන නිළිය” ලෙස සම්මානයට පාත්‍ර වූ හර්ෂි රසාංගා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට අයත් රන් මාලයක් සම්බන්ධ සිදුවීමකටයි.
මොකක්ද මේ රන් මාලයේ කතාව?
වාර්තා වන අන්දමට මෙම සිදුවීම සිදුව ඇත්තේ මීට කලකට පෙරයි. භානුක රාජපක්ෂට අයත් රන් මාලයක් සම්බන්ධයෙන් වූ මෙම මූල්‍ය අවභාවිතය පිළිබඳව තලංගම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබුණා. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අද දින ඇයව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළා.
නඩුව අතරතුර ආ තලංගම OICගේ මාරුව
මෙම සිදුවීමේ වඩාත්ම කතාබහට ලක්වන සහ ආන්දෝලනාත්මක පුවත වාර්තා වන්නේ මින් අනතුරුවයි. ජනප්‍රිය නිළිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පැය කිහිපයක් යන්නටත් මත්තෙන්, මෙම මෙහෙයුමට නායකත්වය දුන් තලංගම පොලිස් ස්ථානාධිපති (OIC) එල්.ඩී.ආර්. අනුරුද්ධ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක ඩී/එච්ආර්එම්/ඒඩීඑම්/564/2026 දරන නිල ලිපියට අනුව, තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාව සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසය වෙත මාරු කර යවා ඇත.
මෙය අහම්බයක්ද?
සාමාන්‍යයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් රාජකාරි අවශ්‍යතා මත සිදුවන බව පැවසුවද, ප්‍රසිද්ධ නිළියක සම්බන්ධ වූ මෙම විශේෂිත නඩුව මෙහෙයවූ නිලධාරියාට එකවරම මෙවැනි මාරුවක් ලැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා. මෙය හුදෙක් පරිපාලනමය තීරණයක්ද නැතිනම් යම් බලපෑමක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති.
ලිපියේ සඳහන් පරිදි තලංගම නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇත්තේ බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි එස්.පී.එන්. සිල්වා මහතායි.
ජනප්‍රියත්වයත්, නීතියත් අතර දෝලනය වන මෙවැනි සිදුවීම් රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව තුළ ඇති විශ්වාසය කෙරෙහි කෙලින්ම බලපානු ලබනවා. හර්ෂි රසාංගා පිළිබඳ නඩු කටයුත්ත ඉදිරියේදී කිනම් මගක් ගනීවිද යන්නත්, මෙම හදිසි මාරුවීම් පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද යන්නත් ඉදිරි දිනවලදී අනාවරණය වනු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය තුළ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව 2026 මාර්තු 30 වන දින නිකුත් කර ඇති මෙම නියෝගය හරහා දිවයිනේ ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයකම නායකත්වය වෙනස් වී ඇත.
සම්පූර්ණ ස්ථාන මාරු ලැයිස්තුව පහත පරිදි වේ.
1. පටී.ආර්. විජේසිංහ – රාගම OIC තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත.
2. එච්.එස්.කේ. ජයරත්න – මාතලේ සිට රාගම පොලිස් ස්ථානාධිපති ලෙස.
3. එස්.එම්. ලයනල් – නවගමුව OIC තනතුරේ සිට ඉලවලි පොලිස් ස්ථානාධිපති ලෙස.
4. එස්.ජී.සී. ජයනාත් – ඉලවලි OIC තනතුරේ සිට නවගමුව පොලිස් ස්ථානාධිපති ලෙස.
5. කේ.එන්.ආර්. විජේසිරි – ගොඩකවෙල OIC තනතුරේ සිට මඩු පොලිස් ස්ථානාධිපති ලෙස.
6. එස්. අබේවික්‍රම – වැලිමඩ OIC තනතුරේ සිට ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ලෙස.
7. එම්.ජී. ද සිල්වා – මඩු OIC තනතුරේ සිට වැලිමඩ පොලිස් ස්ථානාධිපති ලෙස.
8. එල්.ඩී.ආර්. අනුරුද්ධ – තලංගම OIC තනතුරේ සිට පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසය වෙත.
9. එස්.පී.එන්. සිල්වා – බෙලිඅත්ත OIC තනතුරේ සිට තලංගම පොලිස් ස්ථානාධිපති ලෙස.
10. ඩබ්.ඩබ්.එම්.ඒ. අමරසිංහ – මුලතිවු මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සදහා අම්පාර කොට්ඨාසය වෙත.
11. එස්.කේ.සී.එස්. දයාවංශ – ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට මුලතිවු මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස.
12. ඩබ්.එම්.ජේ. බණ්ඩාර – බුත්තල OIC තනතුරේ සිට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස.
13. පී. අමරසිංහ – පේදුරුතුඩුව OIC තනතුරේ සිට බුත්තල පොලිස් ස්ථානාධිපති ලෙස.
14. එම්.එස්.පී. ප්‍රේමතිලක – මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සදහා ඇඹිලිපිටිය කොට්ඨාසය වෙත.
පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම සියලු මාරුවීම් සේවා අවශ්‍යතාව මත සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, උතුරු සහ ඌව පළාත්වල පුරප්පාඩු වූ පේදුරුතුඩුව සහ මොණරාගල ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසු නිලධාරීන් පත් කිරීමටද නියමිතව ඇත.














