Home සංස්කෘතික හැඳල විහාරය යනු ආගමික ස්ථානයක් පමණක්ද? ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න

හැඳල විහාරය යනු ආගමික ස්ථානයක් පමණක්ද? ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න

3
0
Share

බොහෝ දෙනෙක් යන එන, දකින අහන තැන්වල සැඟවුණු කතා අපට මගහැරී යනවා. හැඳල පුරාණ රජමහා විහාරය කියන්නෙත් එවැනි තැනක්. බැලූ බැල්මට එය තවත් එක් ඓතිහාසික විහාරස්ථානයක් වුණත්, එහි අත්තිවාරම පිටුපස ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයකට එරෙහිව නැගී සිටි රජ කෙනෙකුගේ තීක්ෂණ දේශපාලන දැක්මක් සැඟවී තිබෙනවා. මේ, හැඳල විහාරය හරහා තුන්වන විජයබාහු රජුගේ සහ දඹදෙණි යුගයේ කතාව දෙස බලන නැවුම් කියවීමක්.

කාලිංග මාඝගේ අඳුරු යුගය

රජරට ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය අවසන් කරමින්, කාලිංග මාඝගේ ආක්‍රමණය රටට ගෙන ආවේ ඉතිහාසයේ දරුණුම විනාශයක්. ආගම, සංස්කෘතිය සහ අධ්‍යාපනය සුන්නද්දූලි කළ මේ බිහිසුණු ආක්‍රමණය හමුවේ රජ පරපුරේ කුමාරවරුන් සහ ප්‍රාදේශීය නායකයින්ට සිදු වුණේ දිවි රැකගැනීම සඳහා මායා සහ රුහුණු රටවල වනදුර්ග, ගිරිදුර්ග සහ ජලදුර්ග වල සැඟවීමටයි. යාපහුවේ සුභ සෙනවි, රුහුණේ බුවනෙකබාහු ආදීන් එලෙස සැඟවී, විසිරුණු සේනා සංවිධානය කරමින් මාඝට එරෙහිව යම් හෝ ප්‍රතිරෝධයක් ගොඩනැගීමට උත්සාහ කළත්, එය ප්‍රමාණවත් වුණේ නැහැ.

වනගත නායකයෙකුගේ නැගී ඒම – තුන්වන විජයබාහු

මෙවන් අවිනිශ්චිත පසුබිමක තමයි, දඹදෙණියෙන් නව නායකයෙක් ඉතිහාසයට එකතු වෙන්නේ. ඒ තුන්වන විජයබාහු. ඔහුගේ තරුණ කාලය ගැන පැහැදිලි තොරතුරු ඉතිහාසයේ නැහැ. පැරණි මූලාශ්‍රවල ඔහුව “වන්නි රජු” ලෙස හඳුන්වන්නේ, ඔහු වනගත ප්‍රදේශයක බලය ගොඩනගාගත් ප්‍රාදේශීය නායකයෙකු වූ නිසා වෙන්න පුළුවන්. සතුරන්ට බියෙන් දීර්ඝ කාලයක් වනගතව සිටි බව සඳහන් වුණත්, ඔහු හුදෙක් සැඟවී සිටියේ නැහැ. ඔහු ක්‍රමයෙන් මායා රටේ අනෙක් නායකයින් අභිබවා යමින්, සිය රාජකීය පෞරුෂය සහ උපායශීලී බව තුළින් බලය තහවුරු කරගත්තා.

අවසානයේදී, මාඝගේ හමුදා නතර වී සිටි ස්ථානවලින් මායා රට මුදාගෙන, දඹදෙණිය සිය අගනුවර කරගනිමින් ඔහු රජකමට පත්වුණා. දඹදෙණිය ස්වභාවික ආරක්ෂාවක් සැපයූ බලකොටුවක් වූ අතර, විජයබාහු රජු එහි සිට සෙමින් සේනා සංවිධානය කරන්න පටන් ගත්තා.

දළදා හිමිකම සහ දේශපාලන බලය

එකල රජකම තහවුරු වීමට තිබූ ප්‍රබලම සාධකය වූයේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ හිමිකාරිත්වයයි. මාඝගේ ආක්‍රමණයත් සමඟ පොළොන්නරුවේ වැඩසිටි දළදා වහන්සේ, මහා සංඝරත්නය විසින් කොත්මලේට රැගෙන ගොස් රහසිගතව සඟවා තැබුවා. මායා රට ආරක්ෂිත බව දැනගත් පසු, විජයබාහු රජු මහා තෙරවරුන් සමඟ සාකච්ඡා කර, දළදා වහන්සේලා කොත්මලේ සිට බෙලිගලට වැඩම කරවූවා. “දෙවියන්ට මිස මිනිසුන්ට ළඟා විය නොහැකි” තරම් සුරක්ෂිත ස්ථානයක් ලෙස සැලකූ බෙලිගල දළදා වහන්සේ වැඩම කරවීමත් සමඟ, තුන්වන විජයබාහුගේ රජකම මුළු රටම පිළිගත්තා.

ශාසනික සේවය පිටුපස සැඟවුණු උපාය මාර්ගය

තුන්වන විජයබාහු රජුගේ සිව් අවුරුදු රාජ්‍ය කාලය තුළ ඔහු කළ ශාසනික සේවාවන් හුදු ආගමික කටයුතුම නොවේ. ඒවා පිටුපස ගැඹුරු දේශපාලන උපාය මාර්ගයක් තිබුණා.

1. කැලණි විහාරය පිළිසකර කිරීම – ජරාවාසව තිබූ කැලණි රජමහා විහාරය පිළිසකර කර, උපසම්පදා මහෝත්සවයක් පවත්වා බුදු සසුන නගා සිටුවීමට ඔහු කටයුතු කළා. මෙය මාඝ විසින් විනාශ කළ ආගමික ප්‍රබෝධය නැවත ගොඩනැගීමක් වගේම, කැලණිය වැනි වැදගත් මර්මස්ථානයක සිය රාජකීය අනුග්‍රහය සලකුණු කිරීමක්.

2. හැඳල විහාරය ඉදිකිරීම – ඔහුගේ වඩාත්ම තීක්ෂණ පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. එකල කොළඹ වරාය හෙවත් “කොලොන්තොට” වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිතව තිබුණත්, එය මාඝගේ බලපෑමට ලක්විය හැකි කලාපයක් වුණා. විජයබාහු රජු, කොලොන්තොටට යාබදව, වත්තල ප්‍රදේශයේ හැඳල විහාරය ඉදිකරන්නේ සිය රාජකීය අනුග්‍රහය සහ දේශපාලන බලයේ සීමාව සලකුණු කරන්නාක් මෙන්.

එක් පසකින් කැලණිය, අනෙක් පසින් හැඳල. මේ විහාර දෙක හරහා, කොලොන්තොට ආශ්‍රිත ප්‍රදේශය සිය බල වළල්ලට යටත් බවත්, අනාගතයේ දිනක තමන් මාඝට එරෙහිව නැගී සිටින බවටත් ඔහු ව්‍යංගයෙන් අනතුරු ඇඟවීමක් කළා.

තම මහලු වයසත්, මාඝ සමඟ ඍජු සටනකට අවශ්‍ය සම්පත් හිඟකමත් තේරුම් ගත් විජයබාහු රජු, එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන, ආර්ථික සහ මානසික පසුබිම නිර්මාණය කර, එම කාර්යභාරය සිය පුත්, දෙවන පරාක්‍රමබාහු කුමරුට පැවරුවා.

හැඳල විහාරය යනු හුදෙක් ගඩොලින් තැනූ සිද්ධස්ථානයක් පමණක් නොවේ. එය, රටේ අඳුරුම මොහොතක, ආක්‍රමණිකයෙකුට එරෙහිව නැගී සිටීමට අඩිතාලම දැමූ දුරදක්නා නායකයෙකුගේ නොසැලෙන අධිෂ්ඨානයේ සහ තීක්ෂණ උපාය මාර්ගයේ ජීවමාන ස්මාරකයක්. ඉතිහාසය දඹදෙණියේ සිට පමණක් නොව, මෙවැනි කොළඹට නුදුරු තැන්වල සිට ආපසු හැරී බලන විට, අපට නව කතාන්දර හමුවෙනවා.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here