Home Flash News ගෑස් පෝලිම් ආයෙත් ඇවිත්ද?

ගෑස් පෝලිම් ආයෙත් ඇවිත්ද?

9
0
Share

රටේ ගෑස් හිඟය පිටුපස ඇති ඇත්ත කතාව කුමක්ද? එකිනෙකට පරස්පර ප්‍රකාශ අතර, ඇත්ත මෙන්න.

පසුගිය කාලයේ රටේ පැවති අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඇතිවූ දිගු පෝලිම් ජනතාවට තවමත් අමතක නැහැ. ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් දින ගණන් පෝලිම්වල රැඳී සිටි ඒ අමිහිරි මතකය නැවතත් මතුවන ලකුණු මේ වනවිට පහළ වෙමින් තිබෙනවා. ඒ, රටේ ප්‍රධාන ගෑස් සැපයුම්කරුවා වන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් සඳහා තැනින් තැන යළිත් පෝලිම් නිර්මාණය වීමත් සමගයි.

මේකට හේතුව මොකක්ද? එකිනෙකා පවසන්නේ එකිනෙකට වෙනස් කතාන්තරයන්ය. නමුත් මේ සියල්ල පිටුපස ඇති ප්‍රධානම සිදුවීම වන්නේ, වසර 10ක් පුරා ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයූ ඕමානයේ සමාගම ඉවත් කර, ස්විට්සර්ලන්තයේ නව සමාගමකට එම සැපයුම් කොන්ත්‍රාත්තුව ලබා දීමයි.

පාර්ලිමේන්තුවෙන් නැඟුණු අනතුරු ඇඟවීම

මෙම සැපයුම්කරු මාරු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මීට පෙර අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කළා. ඔහුට අනුව, නව සමාගම සමග තවමත් නිසි ගිවිසුම් අත්සන් කර නොමැති බවත්, එම සමාගම දැන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවත් ඔහු පැවසුවා. ආණ්ඩුවේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා එළඹෙන පෙබරවාරි මාසය වන විට රට තුළ බරපතළ ගෑස් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවට ඔහු අනාවැකි පළ කළා.

ආණ්ඩුවේ පිළිතුර සහ සහතිකය

කෙසේ වෙතත්, මෙම චෝදනාවට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ගෑස් හිඟයක් ගැන කතා කරමින් ජනතාව බිය ගැන්වීම “නින්දිත ක්‍රියාවක්” බවයි. රට තුළ කිසිසේත්ම ගෑස් හිඟයක් ඇති නොවන බවට ඔහු දැඩිව සහතික විය.

ඔහුට අනුව, ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියකට අනුව පැරණි ඕමාන් සමාගම වෙනුවට නව සමාගම තෝරාගෙන ඇති අතර, මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර අවසන්ය. තත්ත්ව පරීක්ෂාවන් ද සිදු කෙරෙමින් පවතින බවත්, නව සමාගමේ පළමු ගෑස් නෞකාව ජනවාරි 5 වන දින ලංකාවට ළඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා. පැරණි සමාගමට වඩා ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් ශත 15කින් අඩුවෙන් නව සමාගම සපයන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

ලිට්‍රෝ සභාපතිගෙන් වෙනස්ම කතාවක්

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ඉදිරිපත් කරන්නේ තවත් වෙනස්ම පැහැදිලි කිරීමකි. ඔහු පවසන පරිදි, පවතින තත්ත්වයට හේතුව ලාෆ් ගෑස් සමාගමේ සැපයුමේ ඇතිවූ හිඟයයි. ලාෆ් ගෑස් හිඟ වීම නිසා එම පාරිභෝගිකයන් විශාල වශයෙන් ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමට යොමු වී ඇති අතර, ඒ අනපේක්ෂිත ඉහළ ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම නිසා තාවකාලික හිඟයක් නිර්මාණය වී ඇති බව ඔහුගේ මතයයි. එම තත්ත්වය මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවද සභාපතිවරයා කියයි.

කෙසේ වෙතත්, දේශපාලනඥයින් සහ නිලධාරීන් කුමන කතා කීවද, රටේ සාමාන්‍ය ජනතාව තවමත් ගෑස් සිලින්ඩරයක් සොයා වෙහෙසෙමින් සිටින බව නම් පැහැදිලිය. ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය විසඳෙනු ඇත්ද, නැතහොත් තවදුරටත් උග්‍ර වනු ඇත්ද යන්න පිළිබඳව ජනතාව බලා සිටින්නේ දැඩි අවිනිශ්චිතතාවයකිනි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here