Home පිටිය සීමා ඉරෙන් එහා ගිය ක්‍රිකට් යුද්ධය

සීමා ඉරෙන් එහා ගිය ක්‍රිකට් යුද්ධය

8
0
Share

2008 දී මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයම කම්පනයට පත් කළා. එම සිදුවීම පාදක කරගත් “ධුරන්ධර්” නම් චිත්‍රපටය අද ඉන්දියාවේ ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා. පකිස්තානයේ තහනම් වුවත්, එරට Netflix නැරඹුම් ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේත් මේ චිත්‍රපටය වීම විශේෂත්වයක්. මේ දේශපාලනික උණුසුම මැද, තවත් ඉන්දු-පකිස්තාන ගැටුමක් නිසා මුළු ලෝකයේම අවධානය දැන් ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම කොළඹට යොමු වී තිබෙනවා. ඒ, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයයි.

ඉතිහාසය පුරාම ඉන්දු – පකිස්තාන ක්‍රිකට් ගැටුම් උණුසුම් වුණත්, ක්‍රීඩකයන් අතර පෞද්ගලික මිත්‍රත්වයට එය බාධාවක් වුණේ නැහැ. නමුත්, ඒ සුහදත්වය දැන් ඉතිහාසයට එක්වෙමින් පවතිනවා. දේශපාලනය, ක්‍රීඩාවේ සුන්දරත්වය අභිබවා යමින්, ක්‍රිකට් පිටිය යුධ පිටියක් බවට පත් කර ඇති අයුරු පසුගිය කාලය පුරාම අපට දැකගන්නට ලැබුණා. අද කොළඹදී පැවැත්වෙන තරගය හුදෙක් ලකුණු දෙකක් වෙනුවෙන් කරන සටනකට වඩා එහා ගිය එකක් බවට පත්ව ඇත්තේ ඇයි? අපි ඒ පසුබිම විමසා බලමු.

ක්‍රීඩාවට ආ දේශපාලන වෛරය

මේ ගැටුමේ ආරම්භය සනිටුහන් වුණේ පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදීයි. කාශ්මීරයේ ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා දෙරට අතර පැවති උණුසුම් තත්ත්වය, කෙළින්ම ක්‍රිකට් පිටියට ආවා. ලකුණු හඹා ගොස් ජයගත් ඉන්දීය ක්‍රීඩකයන්, පකිස්තාන ක්‍රීඩකයන්ගේ සුබ පැතුම්වත් භාර නොගෙන ක්‍රීඩාගාරයට ගියේ, ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව අමතක කරමින්.

තත්ත්වය තවත් දරුණු අතට හැරුණේ අවසන් මහා තරගයේදීයි. තරගය දිනුවත්, ඉන්දීය කණ්ඩායම සිය රට බලා ගියේ කුසලානයක් නැතිව හිස් අතින්. ඊට හේතුව වුණේ, පකිස්තාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය භාරගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීමයි. එයට පිළිතුරු ලෙස, පකිස්තාන නායක සල්මන් අඝා, අනුශූරතාවයට හිමි චෙක්පත බිම දමා විසිකර දැමුවේ ක්‍රීඩාවේ ගෞරවය පසෙකලා.

ලෝක කුසලානයට වැටුණු කළු වලාකුළ

T20 ලෝක කුසලානය ආරම්භ වූයේද මේ ගැටුම් මැදයි. ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ විට, ICCය ඔවුන්ව තරගාවලියෙන් ඉවත් කළා. ඊට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයට සහාය දක්වමින් අද (15) කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කළා.

ඒ සමඟම, ඉන්දු-පකිස්තාන තරගය අවලංගු වීමේ අවදානමක් මතු වුණා. 1996 දී ශ්‍රී ලංකාවට සහාය වීමට එකම කණ්ඩායමක් ලෙස මෙරටට පැමිණි ඉන්දියාව සහ පකිස්තානය, අද එකිනෙකා මුණගැසීම පවා ප්‍රතික්ෂේප කරන තැනට පත්වීම, දේශපාලනය ක්‍රීඩාව කෙතරම් දූෂණය කර ඇත්ද යන්නට හොඳම උදාහරණයක්. කෙසේ වෙතත්, දීර්ඝ සාකච්ඡා වලින් පසු, තරගයට සහභාගී වීමට පකිස්තානය අවසානයේ එකඟ වුණා.

කොළඹ සූදානම සහ ක්‍රීඩාලෝලීන්ගේ හඬ

අද පැවැත්වෙන තරගය අවසන් මහා තරගයකටත් වඩා වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. ප්‍රවේශ පත්‍ර අති විශාල මිල ගණන් වලට අලෙවි වන අතර, කොළඹ නගරයට පෙර නොවූ විරූ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තරගය ආරම්භ වීමට පැය හතරකටවත් පෙර ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසයි.

මේ අතර, හිටපු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසන්නේ, “අපිට ලකුණු දෙකක ජයක් කියලා නිකංම හිතන්න බෑ. ඒ ලකුණු ගන්නනං එදා දවසෙ හොඳට ක්‍රීඩා කරන්න ඕනෙ,” යනුවෙනි.

දේශපාලනය ක්‍රීඩාවට ගෙන ඒම ගැන බොහෝ ක්‍රීඩාලෝලීන් සිටින්නේ කණගාටුවෙන්. තරගය නැරඹීමට පැමිණි පකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන වලීඩ් අහමඩ් පැවසුවේ, “ක්‍රිකට් කියන්නෙ මිනිස්සුන්ව එකතු කරන ක්‍රීඩාවක්. ඒ නිසා එතනට දේශපාලනය ගේන එක අනුමත කරන්න බෑ. මං ICC එකෙන් ඉල්ලනවා දෙරට අතර සුහදතාව වර්ධනය කරන්න මැදිහත් වෙන්න කියලා,” යනුවෙනි.

මේ තරගයෙන් කවුරු පැරදුණත්, පසමිතුරන් දෙදෙනෙකු එකම පිටියකට ගෙන්වා ගැනීමට සමත් වීම නිසා ශ්‍රී ලංකාව දැනටමත් ජයග්‍රහණය කර අවසන්. එයින් රටට ලැබෙන ආර්ථික වාසියද සුළුපටු නැහැ.

සුප්‍රසිද්ධ “වීර් සාරා” චිත්‍රපටයේ එන “අපේ ආදරය දේශ සීමාවේදී බිඳී යන්න තරම් දුර්වලද?” යන දෙබස අපට සිහිපත් කරනවා. දේශපාලන වෛරය කෙතරම් ප්‍රබල වුවත්, ක්‍රිකට් පිටියේ ඉන්දු-පකිස්තාන මිත්‍රත්වය එතරම් දුර්වල නොවනු ඇතැයි යන්න සියලු ක්‍රීඩාලෝලීන්ගේ එකම පැතුමයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here