Home Flash News ඉන්දියා – පකිස්තාන වෛරය ඇත්තක්ද?

ඉන්දියා – පකිස්තාන වෛරය ඇත්තක්ද?

15
0
Share

අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තාවකාලික යුධ පිටියක් බවට පත්වෙන්නට නියමිතයි. ඒ, දේශසීමා ඉරකින් වෙන්වී, දශක ගණනාවක් පුරා එදිරිවාදීන් ලෙස හැසිරුණු ඉන්දියාව සහ පකිස්තානය, T20 ලෝක කුසලාන තරගයකදී මුණගැසෙන නිසා. මේ තරගය හුදෙක් ක්‍රිකට් ගැටුමක් පමණක් නොවේ. එය ජාතික අභිමානය, ඉතිහාසය සහ දේශපාලනය කැටිවුණු මහා සංග්‍රාමයක්. අතට අත දීම පවා ප්‍රතික්ෂේප කරන තරමට වර්ධනය වූ මේ එදිරිවාදිකම නිසාම මුළු ක්‍රිකට් ලෝකයම අද කොළඹ දෙස බලා සිටිනවා.

නමුත්, මේ වෛරයේ කතාව පිටුපස, ලෝක කුසලානයේම දිගහැරෙන, ඔබ නොදන්නා වෙනස්ම කතාවක් තිබෙනවා. ඉන්දියාවේ සහ පකිස්තානයේ ක්‍රීඩකයන් එකිනෙකාට එරෙහිව නයි පොළොං වෙසින් හැසිරෙද්දී, මේ දෙරටේම උපන් තවත් ක්‍රීඩකයන් පිරිසක් එකම කණ්ඩායමක් ලෙස, එකම ධජයක් යටතේ සහෝදරත්වයෙන් ක්‍රීඩා කරනවා. ඒ කතාවයි මේ.

දේශසීමා මැකූ ක්‍රීඩා පිටිය

තම කණ්ඩායමේ පකිස්තානු සහෝදරයා කඩුල්ලක් දවා ගත් විට, ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයා දිව ගොස් ඔහුව වැළඳ ගන්නවා. ඉන්දීය සහෝදරයා අර්ධ ශතකයක් ලබා ගත් විට, පකිස්තානු සම්භවයක් ඇති ක්‍රීඩකයා අසුනෙන් නැගිට අත්පොළොසන් දෙනවා. ඉන්දු-පකිස්තාන වෛරය තුට්ටුවකටවත් ගණන් නොගන්නා මේ කණ්ඩායම් මොනවාද?

* ඕමානය – ඉන්දු-පකිස්තාන එකමුතුවේ කදිම උදාහරණයක්

ලෝක කුසලානයට සහභාගී වන ඕමාන කණ්ඩායම සැදුම්ලන්නේ ඉන්දීය සම්භවයක් ඇති ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් සහ පකිස්තානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන්. කණ්ඩායමේ නායක, පන්ජාබයෙන් පැමිණි ජටින්ඩර් සිං ඉන්දියානුවෙක්. නමුත්, මොහොමඩ් නදීම් වැනි පකිස්තානු ක්‍රීඩකයෙක් “ඉන්දියානුවෙක් යටතේ සෙල්ලම් කරන්නේ නෑ” කියා අරගල කරන්නේ නැහැ. අපේම පුහුණුකරු දුලිප් මෙන්ඩිස් යටතේ මේ සියල්ලෝම එකට පුහුණුවීම් කරනවා.

* එක්සත් අරාබි එමීරය සහ ඇමරිකාව – එකම ජර්සිය, එකම අරමුණ

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායකයා පකිස්තානයේ උපන් මොහොමඩ් වසීම්. නමුත් කේරළයේ උපන් අලිෂාන් ෂරෆු හෝ පූනේහි උපන් ධෘව් පරාෂාර් ඔහු යටතේ සතුටින් ක්‍රීඩා කරනවා. ඇමරිකානු කණ්ඩායමේ නායකයා ඉන්දීය සම්භවයක් ඇති මොනාක් පටෙල් වන අතර, පකිස්තානයේ උපන් අලි ඛාන් ඇතුළු පිරිසක් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්. ඔවුන් කියන්නේ කණ්ඩායම තුළ ඉන්දියාව-පකිස්තානය කියා බෙදීමක් නැති බවත්, භූ-දේශපාලනික කරුණු කතා නොකිරීමට පවා ඔවුන් වගබලා ගන්නා බවත්ය.

* කැනඩාව – නායකත්වය පවා බෙදාගන්නා සහෝදරත්වය

කැනඩා කණ්ඩායමේ හිටපු නායක, පකිස්තාන සම්භවයක් ඇති සාඩ් බින් සෆාර්, මෙවර ලෝක කුසලානයට පෙර තමන්ගේ නායකත්වය පන්ජාබයෙන් පැමිණි 23 හැවිරිදි ඩිල්ප්‍රීට් බජ්වාට ලබාදී, සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වුණා. මේක, ජාතියට වඩා කණ්ඩායම ගැන සිතන ක්‍රීඩාවේ සැබෑ ආත්මය පෙන්වන අපූරු අවස්ථාවක්.

මේක වෙන්නේ කොහොමද?

ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල දැඩි තරගකාරීත්වය නිසා ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව නොලැබෙන දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටිනවා. ICC නීතිවලට අනුව, වෙනත් රටක වසර 4ක් ජීවත් වී, එම රටේ දේශීය තරගවලට සහභාගී වන ක්‍රීඩකයෙකුට එම රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්. මේ ක්‍රීඩකයන් කරන්නේ, තම උපන් බිමේ දේශපාලන වෛරය කරපින්නාගෙන නොගොස්, ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය සහ ජීවන අරමුණු වෙනුවෙන් වෙනත් රටක ධජයක් යටතේ එක්වීමයි.

මෙවර ලෝක කුසලානයේ, වෙනත් රටවල් නියෝජනය කරන ඉන්දීය සහ පකිස්තානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් 68 දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ කණ්ඩායම් 6කට ආසන්න සංඛ්‍යාවක්!

වෛරය යනු වෙළඳ භාණ්ඩයක්ද?

එසේනම්, මේ ඉන්දු-පකිස්තාන “විරසකය” ඇත්තටම තිබෙන්නේ කොතැනද? එය තිබෙන්නේ, දේශපාලනික සහ වාණිජ අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව යොදාගන්නා ක්‍රමවේදය තුළයි. දෙරට අතර තරගයක් යනු ධන උල්පතක්. රුපියල් දහසේ ටිකට් පත ලක්ෂ ගණනකට විකිණෙනවා. විකාශන අයිතිය මිලියන ගණන් වටිනවා. මේ “සංග්‍රාමය” පවත්වාගෙන යාම, ක්‍රිකට් ආර්ථිකයට වාසිදායකයි.

නමුත්, ඒ සියල්ලට එපිටින්, ඕමානයේ, ඇමරිකාවේ, කැනඩාවේ ක්‍රීඩාගාරවල, ඉන්දියානුවෙකු සහ පකිස්තානුවෙකු එකිනෙකාගේ කරට අත දමාගෙන, තම මව් රටවල කණ්ඩායම් අතර “මහා සංග්‍රාමය” නරඹනවා විය හැකියි. ඔවුන් අපට නිහඬවම කියා දෙන්නේ, දේශසීමා සහ ධජවලට එහා ගිය, ක්‍රීඩාවෙන් පමණක් එක් කළ හැකි මනුෂ්‍යත්වයක් ලෝකයේ තවමත් ඉතිරිව ඇති බවයි.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here