Home Flash News හසීනාගෙන් පසු බංග්ලාදේශයේ බලය කාටද?

හසීනාගෙන් පසු බංග්ලාදේශයේ බලය කාටද?

13
0
Share

වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය, 2024 වසරේ ඇතිවූ දැවැන්ත ශිෂ්‍ය විරෝධතා රැල්ලකින් අවසන් වුණා. එම ඓතිහාසික නැගිටීමෙන් පසු බංග්ලාදේශය සිය පළමු මහ මැතිවරණය සඳහා සූදානම් වන අතර, රටේ අනාගතය තීරණය කෙරෙන මෙම ඡන්ද විමසීම පෙබරවාරි අද (12) පැවැත්වෙනවා.

හසීනාගේ පාලන සමයේ අවසන් භාගයේ ඇතිවූ ශිෂ්‍ය නැගිටීම් මර්දනය කිරීමේදී විරෝධතාකරුවන් 1,400කට ආසන්න පිරිසක් මිය ගිය අතර, එම මර්දනයට ඍජුව නියෝග කළ බවට හසීනාට චෝදනා එල්ල වුණා. ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කළ ද, අවසානයේ ඇයට රටින් පලා යාමට සිදු විය. එතැන් සිට බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් විසිනි.

මෙවර මැතිවරණයේ සන්දර්භය අතීතයට වඩා බෙහෙවින් වෙනස් ය. හසීනාගේ අවාමි ලීග් පක්ෂයට තරග කිරීම තහනම් කර ඇති අතර, දශක එකහමාරක් පුරා පැවති මතභේදාත්මක මැතිවරණ තුනකින් පසුව, මිලියන 120කට අධික ඡන්දදායකයින්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට නිදහස් අවස්ථාවක් උදා වී තිබේ. ඒ අනුව, මෙම මැතිවරණය ප්‍රධාන වශයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි අතර ද්වන්ධ සටනක් බවට පත්ව ඇත.

මෙම ලිපියෙන් අපි බංග්ලාදේශයේ මෙම තීරණාත්මක සංධිස්ථානය, එහි ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ නායකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ගැඹුරින් විමසා බලමු.

ප්‍රධාන අපේක්ෂකයෝ කවුද?

තරීක් රහ්මාන් – බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP)

බංග්ලාදේශයේ ප්‍රබල දේශපාලන පවුලකින් පැවත එන තරීක් රහ්මාන්, රටේ පළමු හමුදා පාලකයා වූ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් සහ හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහුගේ උපන් දිනය සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව යම් යම් මතභේද පැවතිය ද, ඔහු සිය පක්ෂය තුළ ක්‍රමයෙන් ඉහළට පැමිණි චරිතයකි.

2007 වසරේදී දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 18ක් සිරගතව සිටීමෙන් පසු, ඔහු 2008 දී නිදහස් වී ලන්ඩනයට සංක්‍රමණය විය. එහි වසර 17කට ආසන්න කාලයක් දේශපාලන රැකවරණ යටතේ ජීවත් වූ ඔහු, 2018 දී මව වූ ඛලීඩා සියා දූෂණ චෝදනාවකට සිරගත වීමෙන් පසු පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහු නැවත ඩකා අගනුවරට පැමිණියේ සිය ආධාරකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලබමිනි. ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් දූෂණ චෝදනා සහ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කළ ද, BNP පක්ෂය ඔහුව “බංග්ලාදේශයේ මීළඟ අගමැති” ලෙසත්, ශක්තිමත් නායකයෙකු ලෙසත් ඉදිරිපත් කරයි.

ෂෆීකුර් රහ්මාන් – ජමාත්-ඊ-ඉස්ලාමි

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ෂෆීකුර් රහ්මාන්, වයස අවුරුදු 19දී ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ශිෂ්‍ය අංශයට සම්බන්ධ වෙමින් සිය දේශපාලන ගමන ආරම්භ කළේය. 1984දී පක්ෂයේ පූර්ණ සාමාජිකත්වය ලබාගත් ඔහු, ෂෙයික් හසීනාගේ රජය විසින් ජමාත් පක්ෂයට දේශපාලන කටයුතු තහනම් කළ 2020 වසරේදී එහි නායකත්වයට පත් විය.

හසීනාගේ පාලනය බිඳ වැටීමත් සමග නිර්මාණය වූ දේශපාලන රික්තකය, දශක ගණනාවක් පුරා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් තරමක් දුරස්ව සිටි ජමාත් පක්ෂයට නව අවස්ථාවක් නිර්මාණය කර තිබේ. ඔහුගේ පක්ෂය ඔහුව විස්තර කරන්නේ “සරල, නිහතමානී සහ ඕනෑම කෙනෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විනයගරුක” නායකයෙකු ලෙස ය.

පක්ෂ දෙකටම ඇති අභියෝග

ප්‍රධාන තරගකරුවන් වුව ද, මෙම පක්ෂ දෙකටම ජයග්‍රහණය සඳහා බලපාන සැලකිය යුතු අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

BNP පක්ෂයට පක්ෂ අභ්‍යන්තරයේ කැරලිකාර අපේක්ෂකයන් සිටීම, නායකයන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා, තරුණ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමේ දුර්වලතාව, සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රතිවාදී ජමාත් පක්ෂයට වඩා පසුපසින් සිටීම වැනි අභියෝග පවතී. මීට අමතරව, අසල්වැසි ඉන්දියාව සමග සබඳතා පිළිබඳව පක්ෂයේ ස්ථාවරය අපැහැදිලි බවට ද චෝදනා එල්ල වෙනවා.

ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයට මුහුණ දීමට සිදුව ඇත්තේ වෙනස් ආකාරයේ අභියෝග සමුදායකි. 1971 බංග්ලාදේශ විමුක්ති යුද්ධයේදී එම සංවිධානයේ භූමිකාව පිළිබඳ ප්‍රශ්න තවමත් සමාජයේ කතාබහට ලක්වේ. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය අපැහැදිලි වීම, රටක් පාලනය කිරීමේ අත්දැකීම් නොමැතිකම සහ ඔවුන්ගේ භූ දේශපාලනික ස්ථාවරය කුමක් වේද යන්න පිළිබඳව ජනතාව තුළ සැකයක් පැවතීම ප්‍රධාන අභියෝගයන් ය.

මෙම මැතිවරණය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

මෙය හුදෙක් තවත් එක් මැතිවරණයක් නොවේ. එය හේතු කිහිපයක් නිසා ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වේ.

1. නව දේශපාලන යුගයක් – දශක ගණනාවක් පුරා බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රමුඛ චරිත වූ ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා නොමැතිව පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

2. ජනමත විචාරණය – ඡන්දදායකයින් මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමට පමණක් නොව, රටේ ව්‍යවස්ථාවට පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ‘ජූලි ප්‍රඥප්තිය’ සඳහා ද ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, අගමැති ධුර කාලය සීමා කිරීම සහ ද්වි-මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටුවීම වැනි යෝජනා ඊට ඇතුළත් ය.

3. පළමු වරට සිදුවන දේ – රටේ ප්‍රධාන ඉස්ලාමීය පක්ෂය ප්‍රධාන තරගකරුවෙකු වී තිබීම සහ විදෙස්ගත බංග්ලාදේශ පුරවැසියන්ගේ ඡන්ද ද පළමු වරට පිළිගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

4. ප්‍රජාතන්ත්‍රවාදයේ පරීක්ෂණය – වසර ගණනාවක දේශපාලන අස්ථාවරත්වයෙන් පීඩා විඳි රටක ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගොඩනැගිය හැකි ද යන්න මෙම මැතිවරණයෙන් පරීක්ෂාවට ලක්වනු ඇත.

අද දිනයේ ඡන්දදායකයින්ට ඡන්ද පත්‍රිකා දෙකක් ලැබේ. සුදු පැහැති පත්‍රිකාව තම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා තෝරා ගැනීමට වන අතර, රෝස පැහැති පත්‍රිකාව ඉහත කී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ඔව් හෝ නැත යන්න තීරණය කිරීමට ය. බංග්ලාදේශය දැන් සිටින්නේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකය. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය, දකුණු ආසියාවේ මෙම ජනාකීර්ණ රාජ්‍යයේ ඉදිරි දශක කිහිපය සඳහා වන මාවත තීරණය කරනු ඇත.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here