Home Flash News නව විගණකාධිපතිට සුදුසුකම් නැද්ද?

නව විගණකාධිපතිට සුදුසුකම් නැද්ද?

11
0
Share

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කරන ප්‍රධානතම තනතුරක් වන විගණකාධිපති ධුරය සඳහා නව නිලධාරියෙකු පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති නව නාමය, එම තනතුර සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත සුදුසුකම් සපුරන්නේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවී ඇති අතර, එය රටේ අනාගතය සඳහා “ඉතාම වැරදි පූර්වාදර්ශයක්” විය හැකි බවට විද්වත්හු අනතුරු අඟවනවා.

මතභේදයට හේතුව කුමක්ද?

මෙම මතභේදයේ කේන්ද්‍රය වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා යෝජනා කර ඇති ඩබ්. එම්. කේ. ජී. ඒ. වික්‍රමසිංහ මහතාගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවයි. විවේචකයින් පෙන්වා දෙන්නේ, විගණකාධිපතිවරයෙකු ලෙස පත් වීමට නම්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් ගණකාධිකාරීවරයෙකු වශයෙන් වෘත්තියේ යෙදීමට නිකුත් කරන ලද සහතිකයක් තිබිය යුතු බවයි. එහෙත්, යෝජිත නිලධාරියාගේ නම එම බලයලත් නාමලේඛනයේ නොමැති බවට චෝදනා එල්ල වෙනවා.

ව්‍යවස්ථාවේ කියන්නේ කුමක්ද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම පත්කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි නිර්ණායක දක්වා තිබෙනවා.

* 154(9) ව්‍යවස්ථාව – විගණකාධිපති ධුරයට පත්කළ හැක්කේ “සුදුසුකම් ලත් විගණකවරයෙක්” පමණි.

* 154(8)(a) ව්‍යවස්ථාව – “සුදුසුකම් ලත් විගණකවරයා” යන්න නිර්වචනය කරන්නේ, “ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ… සාමාජිකයකු වූද, ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තියේ යෙදීමට ඒ ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූ තැනැත්තෙක්” ලෙසයි.

මේ අනුව, හුදෙක් ගණකාධිකරණ උපාධියක් හෝ සාමාජිකත්වයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර, වෘත්තියේ යෙදීම සඳහා වන වරලත් සහතිකය අනිවාර්ය ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් වේ. මෙම නෛතික පදනම මත, යෝජිත පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක මතු වී තිබෙනවා.

වැරදි පූර්වාදර්ශයක් සහ එහි අනතුර

විගණකාධිපතිවරයා යනු දේශපාලන අධිකාරියෙන් ස්වාධීනව, මහජන මුදල් නිසි ලෙස කළමනාකරණය කරන්නේද යන්න සොයා බලන මුර බල්ලා ය. එම තනතුරට ජනාධිපතිවරයාගේ හෝ වෙනත් දේශපාලන නායකයෙකුගේ හිතවතෙකු නොව, ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රවීණත්වයක් සහ නිර්දෝෂීභාවයක් ඇති පුද්ගලයෙකු පත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

සුදුසුකම් නොසලකා හුදෙක් දේශපාලන හිතවත්කම් මත මෙවන් තීරණාත්මක පත්කිරීමක් සිදු කළ හොත්, එය අනාගත ආණ්ඩුවලට ද තමන්ගේ “හෙංචයියන්” හරහා විගණකාධිපති දෙපාර්තමේන්තුව පාලනය කිරීමට මග පාදනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, රාජ්‍ය මූල්‍ය විගණන ව්‍යුහයන් දියාරු වී, වංචා සහ දූෂණ සඳහා “හොරුන්ට පාලම් හැදීමයි”.

වත්මන් තත්ත්වය

මෙය ජනාධිපතිවරයා විසින් යෝජනා කළ පස්වන නම වන අතර, මීට පෙර යෝජනා කළ නම් හතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. මෙම නවතම නාමය පිළිබඳව තීරණය කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සභා රැස්වීම ද අවලංගු වී ඇති බවට වාර්තා වන අතර, එමගින් මෙම වැදගත් පත්කිරීම තවදුරටත් කල් යමින් තිබෙනවා. විගණකාධිපතිවරයෙකු නොමැතිව දීර්ඝ කාලයක් ගතවීම, මහජන අරමුදල්වල ආරක්ෂාව බරපතල අවදානමකට ලක් කිරීමකි.

යහපත් දේශපාලන සංස්කෘතියක් යනු මන්ත්‍රීවරුන් බස් රථවල ගමන් කිරීම වැනි මතුපිට දේ පමණක් නොව, රාජ්‍ය සේවයේ තීරණාත්මක තනතුරු සඳහා දේශපාලන පක්ෂපාතීත්වය සහ ඥාති සංග්‍රහය පසෙකලා සුදුස්සාට සුදුසු තැන ලබා දීමයි. දශක හතකට අධික කාලයක් මෙරට දේශපාලනය පීඩාවට පත් කළ එම වැරදි, වර්තමාන ආණ්ඩුව යටතේ හෝ නැවත සිදු නොවිය යුතුය.


Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here