ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යළිත් වරක් දැඩි කතාබහකට ලක්ව තිබේ.
මෙවර මාතෘකාව වන්නේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල් අඟුරු වල ප්‍රමිතිය සහ ඒ හරහා පාරිභෝගිකයා මත පැටවීමට නියමිත ආර්ථික බරයි. පසුගියදා කිරිබත්ගොඩදී පැවැති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ සම්බන්ධයෙන් බරපතල කරුණු රැසක් අනාවරණය කළා.
ප්‍රමිතිය සහ ‘ප්‍රතික්ෂේපිත අගය’ (Reject Value)රජය පවසන්නේ ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සඳහා දඩ මුදල් අයකර ඒවා භාර ගන්නා බවයි. නමුත් පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය තර්කයක් බවයි. ගල් අඟුරු වල තාප ශක්තිය මනිනු ලබන්නේ $KCal/kg$ ඒකක වලිනි.
සාමාන්‍යයෙන් $6050 – 6200 KCal/kg$ ශක්තිය සහිත ගල් අඟුරු කිසිදු ගැටලුවකින් තොරව භාරගනු ලැබේ. $5900 – 6050 KCal/kg$ අතර ප්‍රමිතියක් ඇත්නම් පමණක් දඩයක් අයකර භාරගැනීමේ හැකියාව පවතී.කෙසේ වෙතත්, ශක්තිය $5900 KCal/kg$ ට වඩා අඩු නම්, එය හැඳින්වෙන්නේ ‘Reject Value’ හෙවත් ප්‍රතික්ෂේපිත අගය ලෙසයි. එවැනි තොගයක් කිසිසේත්ම භාර නොගත යුතු අතර, වහාම හරවා යැවිය යුතුය.
මීට පෙර ඉන්දුනීසියානු සමාගමක් සම්බන්ධයෙන් මෙවැනිම තත්වයක් උදාවූ විට එම නැව හරවා යවා ඇණවුම අවලංගු කළ ඉතිහාසයක් ඇති බව ඔහු සිහිපත් කළේය. එසේ තිබියදී වත්මන් රජය ‘Trident Chemphar’ නම් ඉන්දියානු සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ගැටලුසහගතය. රසායනාගාර වාර්තා සහ විශ්වාසනීයත්වයගල් අඟුරු පටවනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ (Richards Bay) වරායෙනි.
එහි නිල පරීක්ෂණ සිදුකරන SGS රසායනාගාරය පසෙකලා, ‘Mithra SX’ නම් ඉන්දියානු රසායනාගාරයකින් වාර්තා ලබා ගැනීම පිටුපස සැකයක් පවතින බව පක්ෂය පවසයි.
රජය මෙවැනි තෙවැනි පාර්ශවීය වාර්තා මත පමණක් විශ්වාසය තැබීම අනතුරුදායක බව ඔවුන්ගේ මතයයි.
විදුලි බිලට වන බලපෑම – දඩ මුදලෙන් පාඩුව පියවිය හැකිද?
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු භාවිතය නිසා පාරිභෝගිකයාට කිසිදු අලාභයක් නොවන බව රජය පැවසුවද, යථාර්ථය ඊට වඩා වෙනස්ය.නිෂ්පාදන ධාරිතාව අඩුවීම: පසුගිය 21 වැනිදා බාල ගල් අඟුරු භාවිතය නිසා මෙගාවොට් 810ක ධාරිතාවක් අපේක්ෂිත බලාගාරයෙන් ලබාගත හැකි වූයේ මෙගාවොට් 715ක් පමණි.
ඩීසල් භාවිතය ඉහළ යාම – රාත්‍රී කාලයේ ඇතිවන මෙම මෙගාවොට් 100ක පමණ හිඟය පියවීමට ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවේ. ඩීසල් ඒකකයක පිරිවැය ගල් අඟුරු ඒකකයකට වඩා සිව් ගුණයකින් වැඩිය.
යන්ත්‍ර වලට වන හානිය – ගල් අඟුරු වල අළු (Ash) ප්‍රතිශතය වැඩිවීම නිසා බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවල ආයු කාලය අඩුවන අතර නඩත්තු පිරිවැය ඉහළ යයි.මෙම සියලු අමතර පිරිවැය අවසානයේ එකතු වන්නේ පාරිභෝගිකයාගේ විදුලි බිලටයි. එබැවින් රජය පවසන ‘දඩය’ පාරිභෝගිකයාට සහනයක් නොවේ.සාම්පල පරීක්ෂාවේ පාරදෘශ්‍යභාවයවත්මන් අර්බුදය විසඳීමට ‘Umpire Sample’ එකක් හෙවත් තීරක සාම්පලයක් තෙවැනි පාර්ශවයකට යැවීමට රජය සූදානම් වේ. නමුත් මෙම සාම්පලය තෝරාගැනීමේදී දැඩි විනිවිදභාවයක් අවශ්‍ය බව පුබුදු ජයගොඩ අවධාරණය කරයි. නැවේ ඇති බාල ගල් අඟුරු වෙනුවට බලාගාරයේ ඇති හොඳ ගල් අඟුරු සාම්පලයක් යොමු කළහොත් සමස්ත පරීක්ෂණයම විහිළුවක් වනු ඇත. මෙම ගනුදෙනුව “මහදැනමුත්තා එළුවාගේ බෙල්ලත් කපා, මුට්ටියත් බින්දා වැනි” වැඩක් නොවීමට නම් වහාම විධිමත් විමර්ශනයක් අවශ්‍ය බවත්, සමාගම් ආරක්ෂා කිරීම පසෙකලා ජනතාවට සැබෑ තොරතුරු හෙළි කළ යුතු බවත් අප අවධාරණය කරමු.











